Sonduru Paramee

Image may contain: 3 people, including Shamal De Silva, text


මම නැවතත් දෙතොල්පට දිවඟ උණුසුමින් තෙත් කර ගත්තෙමි. කරදිය සුළඟ වැදී තැවරුණු ලුණු රසය පමණක් මගේ දිවට දැනුණි.
වීදුරුව වෙතටම බරවූ හිසින් එය හිස් කරමින් සිටි කෙවින්, හිස ඉහළට ඔසවා සියල්ල බී අවසන් කළේය.
“අපි යමු.”
සිය සාක්කුවෙන් ඇද ගත් මුදලක් මේසය මත තබමින් කෙවින් නැගී සිටියේය.
“අනේ කෙවින්......” 
මම ඔහු ඉදිරියට පැමිණ දෑතින්ම ඔහුගේ අතක් අල්ලා ගත්තෙමි.
“අපි යමු ඩිලී.”
දෙඅත් හකුළා ගත් මම ඔහු පසුපසින් වෑන් රථය වෙත පියවර මැන්නෙමි.
මාවත අද්දර වෙරළ වැසි සුළගේ කැළඹී දිය රළ පොළොවේ ගසමින් හඬ නැඟුවේය. අඳුරෙන් වැසුණු අහස ඉරා සයුරින් විදුලි රේඛා ඉහළට ඇදෙමින් තිබුණි. තව මොහොතකින් කඩා වැටෙන්නට ආසන්න වූ වැස්ස මුළු රාත්‍රියම ගිල ගන්නා බව මම දැන සිටියෙමි.
මා වෙත දොරටුව විවර කළ ඔහු, රියදුරු අසුන වෙත ගොස් හිඳ ගත්තේය. වෑන් රථයට ගොඩවූ මම ඔහුගේ වත දෙස නිහඬව බලා සිටියෙමි.
“ඔයා බැඳපු ගෑනියෙක් නේද ....? ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද...?”
එක විටම විදුලියක් හා එක් වුණු අකුණු සැරක් අහසේ පුපුරා ගියේය. මම දෝතින් කන් වසා ගත්තෙමි.
හඬ නංවමින් රථයේ දොර වසා දැමූ ඔහු, ආපස්සට ගත් රිය වේගයෙන් කරකවා ඉදිරියට හැරෙව්වේය.
මම ඔහු වෙතින් දෑස් ඉවතට ගත්තෙමි.
වේගයෙන් වෙරළට ඇදී ආ රළක්, ඉදිරියේ වූ ගල් පරයක හැපී සුනුවිසුනු වී යනු මම වීදුරුව අතරින් දුටුවෙමි. සුළගේ කැළඹුණු මුහුද රළ පිට රළ පෙරළවමින් වෙරළේ හැපී වැලපුණේය. එක් රළ ගෙඩියක් හැපී වැටෙන විට ඒ මත පෙරළෙන්නට තව මහා රළ පෙළක් පොරබැදුවේය. බිඳ වැටෙන රළ පෙළෙන් විසිරුණු දිය බිඳක් වාහනයේ වීදුරුව මතට පිටතින් වැදී පහතට රූරා වැටෙමින් තිබුණි.
කෙවින් කිසිඳු කතා බහකින් තොරව මාවත දෙසම බලා ගත් දෙනෙතින් සිය රථය හැසිරෙව්වේය.
“මම ඔයාට අඬන්න තරම් දෙයක් කිව්වේ නෑනේ.......”
මා දෙස නොබලාම කෙවින් කියනු මට ඇසුණි.
සට පට හඬ නඟමින් වෑන් රථයේ වහලයට වැටෙන්නට ගත් වැහි බිංදු, ජනෙල් කවුළු සහ ඉදිරිපස වීදුරුව දුමාරකින් මෙන් වසා දැමුවේය. වයිපරයෙන් පිසදී පෙනෙන මාවත බොඳ වූ චිත්‍රයක් මෙන් මා ඉදිරියේ විය.
මද වේලාවකින් කෙවින් වෑන් රිය නතර කළේය. ඒ සුපුරුදු ලෙස ඔහු වහනය නතර කරන ඉන්දන පිරවුම් හල පෙනෙන තෙක් මානයේ විය යුතුය.
මා වෙත නැඹුරු වූ ඔහු, එක් අතක් මා උරහිස වටා යවා අනෙක් අතින් මා දෝතම අල්ලා ගත්තේය.
“මේ අහන්න .......ඔයා බය වෙන්න එපා.”
මා දෙසවනට ළං වූ ඔහුගේ හඬ සංසුන් විය. හැඟුම් බර විය.
පිරිමින් සමහර විට අල්ප යැයි සිතන ළය තෙත් වචනයක්, එක් උණුසුම් පහසක් ගැහැනුන් වන අපට මෙතරම් බරට දැනෙන්නේ ඇයි? ........ එය එසේ වන්නේ ගැහැනුන් වී ඉපදීමෙන් අප ලැබ ඇත්තාවූ, ගැහැනු ආත්මයකට ම හිමි දුර්වල කමක් හේතුවෙන්ද?
මම කෙවින් දෙස නෙත් අයා බැලුවෙමි. ඔහු මගේ කපොල්තලය සිප ගත්තේය.
“කොච්චර වැඩ තිබුණත් මම හෙට ආයේ එනවා.”
මම කෙවින්ගේ අත්ල මිරිකා අල්ලා ගත්තෙමි.
“මං ආවම, ඔයා හාෆ් ඩේ දමලා මා එක්ක යන්න එන්න ඕනා..........ඕකට පැය කාලක් මිනිත්තු විස්සක් යන්නේ නෑ....................”
කෙවින්ගේ වචන වාහනය වසා ඇද හැලෙමින් වැටෙන වර්ෂාවේ ඝෝෂාව අතරින් මා දෙසවනෙහි ගිලී යනවා මට මතකය.
කෙවින් දෙනෙත් විසල් කොට මා දෙස බලා සිටියේය. ඔහුගේ අත අල්ලා වේගයෙන් විසි කළ මම වාහනයේ දොර හැරගෙන පිටතට පැන මාවත දිගේ ඇවිද යන්නට වීමි.
ඔහු මගේ නම කියමින් කෑගසනු කිහිප වරක් මා පිටුපසින් ඇසුණ මුත්, ඇද වැටෙන මොර සූරන වැස්සේ හඬ ඊට වඩා වැඩි විය.
********* “සොඳුරු පාරමී” - ශාමාල් ද සිල්වා

Comments