Extract from my novel "Sanda Doowaru"
කබඩ්ඩුවකින් ගත් ඉල්ලුම් පත්‍රයක් ඈ රුවනි වෙත
පෑවාය. රුවනි අත් බෑගය
හැර පෑන සොයන්නට ගත්තාය. මොහොතකින් බියන්කා සිය කමිස
සාක්කුවේ තිබුණු පෑන ගෙන
මේසය මතට දැමුවාය. ස්තූති පූර්වකව හිනැහුණු රුවනි එය ගෙන
ඉල්ලුම් පත්‍රය පුරවන්නට ගත්තාය. බියන්කා පුටුවේ පත්තට බරදී හිඳ
දෙඅත් හිස පිටුපසට තබා වම්
කකුල පද්දවමින්
රවැනි දෙස බලා සිටියාය.
“ඔයා මැරි කරලා ද?”
“ඔව්... හැබැයි දැන් ඩිවෝස්
එක ගන්නයි හදන්නේ.”
බියන්කා යටැසින්
රුවනි දෙස බලා හිනැහී ගෙන සිටියාය.
“මැඩම් ගාවදී දැක්ක ගමන් මට
හිතුණා...ඇයි කියලා ඇහැව්වට
කමක්
නැද්ද?”
“එයා ඩ්රග්ස්
කරනවා.”
“එහෙනං ඔයාට තියෙන්නෙත් මගේ වගේම
කතාවක්.”
“මොකද්ද ඔයාගේ කතාව ?”
“ඕ... ඒක මාර ලෝන්
ස්ටෝරී එකක්...මං පස්සේ කියන්නංකෝ.”
බියන්කා දෙවුර සොලවමින් හඬ නඟා හිනැහුණාය. රුවනි යළි
ඉල්ලුම් පත්‍රය පුරවන්නට ගත්තාය.
“ඔයා දන්නවද..සමහර පිරිමින්ට ගෑනුන්ගෙ ඇඟවල් නිකං
සෙල්ලම් බඩු..ගෑනු අපි තරං ගෑනු ඇඟේ මටසිලුටුකම පිරිමි දන්නේ
නැහැ..දැනගත්තත් වෙලාවකට ඒක ඒගොල්ලන්ට අමතක වෙනවා.”
බියන්කා නැඹුරු වී මේසය
මත වූ රුවනිගේ
අත අල්ලා ගත්තාය.
“නැත්තං තමන්ගේ උවමනාවට ඒක අමතක
කරනවා නේද ?” රුවනි කීවාය.
“හරි!..ගෑනු සුපුරුදු චාරිත්‍රානුකූලව
ඉන්නවට පිරිමි කැමැතියි. යට කරලා තියා ගන්න පුළුවන්නේ.”
බියන්කා රුවනිගේ අත සෙමෙන්
පිරිමදිමින් ඇසක් ඉඟිමැරුවාය.
කරාබු යුවලක් නැති
ඇගේ කන් පෙති පිරුණු මහත්
ඒවා විය. කලින්
එහි තිබුණු සිදුරු
යළි ආභරණයක් රිංගවිය
නොහැකි
ලෙස හාවී තිබුණි. ඈ නැවතත් පුටුවේ පත්තට
බර දී කකුල පද්දන්නට
ගත්තාය.
“ඒ ක්‍රමය හොඳයි...එකෙන් කාටවත් අසාධාරණයක් නොවෙනතාක්.”
“ඒත් හුඟක් වෙලාවට වෙන්නේ
ඒකෙන් අසාධාරණයක්.”
“ෂා...! රුවනි මං
හිතුවට වඩා දියුණුයි.”
ඉල්ලුම් පත්‍රය පුරවා
නිම කළ ඈ අත්සන් තබා බියන්කාට
දුන්නාය.
“තව සුමානයක් දෙකක් වගේ ඇතුළත
රුවනිට දැනුම්දීමක් කරයි.”
රුවනි උන් අස්නෙන් නැගිට්ටාය.
“මං ඔයාට මගෙ කතාව
පස්සේ කියන්නන්කෝ.”
බියන්කා පෙරට විත්
රුවනි බදා ඇගේ
දෙකම්මුල් සිපගත්තාය. බියන්කාගේ ගතේ මෘදු පහසත්
දෙකම්මුල් මතට දැනුණ තෙත් උණුසුමත්
රුවනිගේ
ගත නුහුරු කිතියකින් සලිත කළේය. කාලාන්තරයකින් සිරුර නොලද
උණුසුම් සුවයෙන්
මිදෙන්නට ඈට හදිස්සියක් නොවුණි. එහි නැවුම්
ගතිය ඈට ප්‍රබෝදයක් විය.
“අනේ... දැනුම් දෙයි
නේද ?”
“නැති උණොත් බලන්
ඉන්න එපා ..... මෙහෙ එන්න.”
බියන්කාගේ හඬ ඇගේ පහස තරමටම මෘදු
විය.
“හොඳයි.”
ඈ බියන්කා ගෙන් සමුගෙන
ශාලාව හරහා ආවාය.
ගොඩනැගිල්ලේ දොරටුව අසලදී හදිසියේම සිහි වී තවමත් අත
රැඳුණු පෑන දැක හැරී බැලූ මුත් බියන්කා පේන මානයක නොවූවාය. පසුව එය දෙන බලාපොරොත්තුවෙන් පෑන ගෙන බ්ලවුසයට
යට කර ඈ කරේ
රුවා ගත්තාය.
“සඳ දූවරු” - ශා මා ල් ද සි ල් වා.
Comments
Post a Comment